Tuesday, September 20, 2016

GMOA ගැන අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශය



අධ්‍යාපන ඇමති අකිල විරාජ්



Source : http://sinhala.news24.lk


වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා.
එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ අතර, පුද්ගලිකව මාගේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් විවිධ මඩ පෝස්ටර් සහ අවලාද සිදුකරන අයුරු මාධ්‍ය හරහා ද අනාවරණය වුණා. පසුගිය බදාදා මහජන දිනය දා උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් රාජකාරී කාලයෙන් පසුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය තුළ රැඳී සිටිමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමට උත්සාහ දැරුවා. එමෙන් ම ඔවුන්ගේ දරුවන්ට කිසිදු පාසලක් හෝ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැතැයි පවසමින් ඔවුන්ගේ අරගලය සර්ව සාධාරණ එකක් ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට කටයුතු කිරීමට ඔවුහු උත්සාහ දරනවා.

Friday, September 16, 2016

යහපාලනය හොරා කන්නෝ

හෝමාගම සිට මහරගමට ස්ථාන මාරුවටත් හොඳ ඉස්කෝල ඉල්ලයි.



පසුගිය රජය කාලයේ යහපාලනයක් නොතිබුණ බැවින් පිරිසිඳු වතුර ඉල්ලූ රතුපස්වල වැසියන්ට උණ්ඩ වලට මුහුණ දීමට සිදුවුණි. ඩීසල් සහනාධාරයක් ඉල්ලා සිටි ධීවරයන්ටද වෙඩි උණ්ඩ ලැබිණි. තම වැටුපෙන් අසාධාරණ ලෙස විශ්‍රාම ක්‍රමයන්ට මුදල් කපා ගැනීමට විරුද්ධ වූ නිදහස් වෙලඳ කලාප සේවකයන්ට තිරිසනුන්ට ලෙස පහර දෙන ලදී. විශ්ව විද්‍යාල ක්‍රියාකාරීන් දෙදෙනෙකු මරා දමා හදිසි අනතුරු නිර්මාණය කෙරිණි. රජ පවුල සම්බන්ධ පෙම් ආරවුල් පවා විසඳුණේ දොස්තරවරුන් සහ පොලිස් නිලධාරීන් වැනි රාජ්‍ය තන්ත්‍රයම යොදවාගෙන සිදුකල ඝාතන වලිනි. රජයට අවාසි තීන්දු දුන් විනිසුරුවන් නෙරපා හරිනු ලැබිණි. ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු වල හොරකම් පිලිබඳව දැනගත් ලසන්තව මරා දැමිණි.   බලපත්‍ර තහනමක් පෙන්වා ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය මට්ටු කෙරිණි. රටේ දරුවන් සහ විදේශිකයන් මරා දැමීමට හෝ දූණය කිරීමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිණි. විරුද්ධ අදහස් දක්වන්නන් අතුරුදන් වීමේ අනතුරට මුහුණ පෑහ. 

Monday, September 12, 2016

හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන්

-විසල් කරුණාරත්න විසිනි-


(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.12, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.30) ඒ 1989 වසරේ අවසන් කාර්තුවේ දවසක්. ඒ වන විට කැරැල්ල මුළුමණින්ම වගේ මැඩ පවත්වා තිබුණත් රට සාමාන්‍ය අතට පත් වී තිබුනේ නැහැ. එවකට විසි ගණන් වල සිටි අපි කිහිප දෙනෙක් කොල්ලුපිටියේ දුප්පත් ක්ලබ් එකක බෝතලයක් වටේ රොක් වී සිටිය. කණ්ඩායම අතරේ සඳරුවන්, මංජුල, කල්‍යා, සිරිමල්, සරත් සහ කාෂ්‍යප හිටිය වගේ මතකයි. වැඩේට ස්පොන්සර් කෙළේ අලජ්ඡි සුනිල්. ඌ ඉන්ෂුරන්ස් එකේ පියන් කෙනෙක්. එය දෙපැත්තෙන් තාප්ප සහිත, වා කවුළු නැති තැනක්. දුමෙන් පොට් එක වැසී තිබුණ. දෙපැත්තේ අලවා තිබූ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විවිධ ෆොටෝ, ක්ලබ් එකේ අයිතිකාරයා තද ප්‍රේමදාස වාදියෙක් බව කියා පෑවා.
තැන හෝ නොතැන අපගේ සැලකිල්ලට එතරම් ලක් වූයේ නැහැ. අපි මහ හඩින් සහ සුපුරුදු ලෙස දේශපාලන සංවාදයක නිරත වී සිටියා. වැඩි දෙනෙක් කැරැල්ලට ප්‍ර‍ථම ජවිපෙන් ඉවත් වී නව ප්‍ර‍වනතාවය සමග හිඳ, එකවිට ප්‍රේමදාස රජයෙන් සහ ජවිපෙන් තර්ජන තිබූ එවුන්. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, නව සමසමාජ පක්ෂය, මහජන පක්ෂය ආදී යේ දේශපාලන රස්තියාදුවේ ගිය එවුන්. උතුරේ සහ දකුණේ වෙන වෙනම විප්ලව දෙකක් කර, ඒවා නැවත ඒකාබද්ධ කර ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාණ්ඩුවක් සැදීමට යෝජනා කළ එවුන් ද සිටිය. අවට මේස වල සිටි එවුන්ට අපගේ සංවාදය එතරම් ගණනක් නැති වුනත් ක්ලබ් එකේ හිමිකරුට එය එතරම් දිරෙව්වෙ නැහැ. වරක් දෙවරක් පමණ අප අසලට පැමිණි අයිතිකරු ‘මල්ලී දේශපාලනේ කතා කලාට කමක් නැහැ ජනාධිපතිතුමාට බනින්න එපා’ යැයි අවවාද කළා. අපි ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. දිගටම ප්‍රේමදාසව පතුරු ගැසුව. මලේ උපරිමයට ගිය අයිතිකාරයා එකවරම අප වෙත කඩා පැන සිරිමල් ගේ කොලරයෙන් ඇද ඌව එලියටම ඇද දැම්මා. අනෙක් එවුන් ෂේප් එකේ එළියට එන අතරේ අලජ්ජියා ඉතිරි කොටය සහ බයිට් එක ඔතා ගෙන එන්න තරම් තීක්ෂණ වුන.

Friday, September 9, 2016

ගී පද රචනා කිරීමත් කජ්ජක්ද?


ගී පද ලියන අවස්ථාවක පින්තූරයක්

බ්ලොග් අවකාශයේ ඉන්න තරුණ අයගේ තියෙන්නේ පුදුම හැකියාවල්. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියල කියල තියෙන්නෙ අද ඉන්න තරුණ සමාජය වගේ එකක් එන බව නොදැනගෙන වෙන්න ඕන. ඒතරම්ම එම හැකියාවල් විවිධත්වය විශාලයි. මම හිතනව සමහර විට තමන්ගේ තිබෙන හැකියාවල් නොදන්න අය ඉන්න පුළුවන් කියල. මීට කලින් ගීත රචනා කරල නැති අයට ඒක අත්හදා බලන්න අවස්ථාවක් දෙන්නයි අපේ හිතවත් බ්ලොග් කාරිණියක් සූදානම් වෙන්නේ. ඒක නිසා විවිධ එක්ස්කියුසස් නොදී හැමෝටම මේ සැප්තැම්බර් මාසයේ උත්සාහ කරල බලන්න අභියෝගයක් ලබා දෙන්නේ මම නෙවේ පුංචි කැකුළු මල් ලියන තුශාණි. 

Thursday, September 8, 2016

මටත් වයින් දෙන්න



පින්තූරයෙන් කියවෙන්නේ මට ලෝකයේ වෙනස් කල හැකි දේවල් වෙනස් කිරීමට කෝපි ලබා දෙන ලෙසත් වෙනස් කල නොහැකි දේවල් එලෙසම පිළිගැනීමට වයින් ලබාදෙන ලෙසත් දෙවියන් ගෙන් කල ඉල්ලීමකි. (ස්තූතියි නිර්මාණි )

මේ ලෝකයේ මට වෙනස් කල හැකි එකම පුද්ගලයා මම විතරක්ය යන්න ජීවිතයේ යම් අවධියක වටහා ගැනීම ජීවිතය පහසු කිරීමට විශාල පිටුවහලක් විය. අර්බුධකාරී විවාහයක් සහ ගල් කුළු සමඟ පොරබදන්නාක් වැනි වූ තනතුරක විශාල කාලයක් සිටීම මෙම වටහා ගැනීමට හේතුව විය. ජීවිතය පහසු කරගැනීමට උදව් වූ අනෙක් කාරණය වූයේ මගේ දුර්වල කම සහ දක්ෂකම් ගැන පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට මඟ පෙන්වූ මගේ වෘත්තීය ඉගෙනීමයි.